දශකයකට වැඩි කාලයක් වසා දමා තිබූ ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන ගොඩබිම් දේශසීමා පිවිසුමක් යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අද (21) වාර්තා කළේය.
දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති හෝමූස් සමුද්‍ර සන්ධියට (Strait of Hormuz) විකල්ප මාර්ගයක් ලෙස මෙම දේශසීමා පිවිසුම භාවිතා කිරීමට අපේක්ෂිතය. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, ගොඩබිම් මාර්ග හරහා සැපයුම් දාමයන් පවත්වා ගැනීමට මෙලෙස අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත්, මුහුදු මාර්ගයෙන් සිදු කරන මහා පරිමාණ තෙල් ප්‍රවාහනයට හෝ නල මාර්ග පද්ධතිවලට සාපේක්ෂව, ගොඩබිම හරහා රථවාහන මගින් සිදු කරන තෙල් ප්‍රවාහනය කාර්යක්ෂමතාවයෙන් ඉතා අඩු මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේ වුවද, පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙය තීරණාත්මක විකල්ප පිවිසුමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.














