ප්‍රබල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් “ගම්පහ බබා” ලබන මැයි මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
සැකකරු මන්නාරම වෙරළ හරහා නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස්, එතැනින් නේපාලයට පැන ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසිය (Interpol) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු සමඟ බැකෝ සමන්, නුගේගොඩ බබී සහ කෙසෙල් බද්දර පද්මේ යන ප්‍රබල පාතාල සාමාජිකයන්ට ද නීති විරෝධී ලෙස රටින් පලායාම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත.
සැකකරු මෙලෙස රටින් පලායාමට පෙර වෙනත් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේද යන්න පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීරණය එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබාදීමට නියමිතය.














