චීනය විසින් ඉරානය වෙත ආයුධ සැපයීම නතර කරන ලෙස තමන් චීන ජනාධිපති ෂී ජින්පින් වෙත යොමු කළ ලිපියකට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අනාවරණය කළේය. මැදපෙරදිග පවතින යුදමය ආතතිය සමනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟතාව පළ කරමින් තමන් වෙත පිළිතුරු ලිපියක් එවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින ගැටුම තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා චීනයේ සහාය ලබා ගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ මූලික අරමුණ වී තිබේ. ඉරානයට අවශ්‍ය නවීන ආයුධ සහ තාක්ෂණය ලබා දීම නතර කරන ලෙස කළ ඉල්ලීමට චීනය එකඟ වීම, ඉරානය කෙරෙහි එල්ල වන ‘උපරිම පීඩනය’ තවදුරටත් ශක්තිමත් කරන සාධකයකි. මෙය ලබන සතියේ පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ඉරාන-ඇමෙරිකා සාම සාකච්ඡාවලට පෙර ඇමෙරිකාව ලැබූ විශාල රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මීට පෙර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි බීජිං නුවර සංචාරය කරමින් චීනයේ සහාය ඉල්ලා සිටියද, ජනාධිපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර ඇති වූ මෙම නව එකඟතාවය හේතුවෙන් ඉරානය ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් හුදෙකලා වීමේ අවදානමකට පත්ව ඇත. මේ අතර, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය ද ජනාධිපතිවරයාට අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට පූර්ණ අනුමැතිය ලබා දී ඇති බැවින්, චීනයේ මෙම තීරණය මැදපෙරදිග බල තුලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters, Fox News ඇසුරින්














