කොන්ග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ගෙන ආ යෝජනාවක් පරාජය කිරීමට ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ පියවර ගත්තේය. ඒ අනුව, අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරානයට එරෙහිව තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ට්‍රම්ප්ට පැවති බලය තවදුරටත් තහවුරු වී තිබේ.
සෙනෙට් මණ්ඩලයේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 52ක් සහ පක්ෂව ඡන්ද 47ක් හිමි විය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයා සතු යුද බලතල සීමා කිරීමේ අරමුණින් වුවද, රිපබ්ලිකන් පාක්ෂිකයන් බහුතරයක් එය පරාජය කිරීමට කටයුතු කළහ. මේ හරහා ජනාධිපතිවරයාට සිය ‘උපරිම පීඩනය යෙදීමේ’ (Maximum Pressure) උපායමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දේශපාලන සහයෝගය හිමිවී ඇත.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් වූයේ ඉරානය සහ ඇමෙරිකාව අතර පාකිස්ථානයේදී සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයකි. සාකච්ඡා මේසයට පැමිණීමට පෙර ඇමෙරිකාව සතු යුදමය ශක්තිය සහ ඕනෑම අවස්ථාවක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පෙන්වීම හරහා ඉරානයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, සාමයට ලැදි ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙවැනි තීරණ මගින් කලාපීය ආතතිය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
තොරතුරු උපුටා ගැනීම: NBC News සහ Mario nawfal(x) වාර්තා ඇසුරින්














