මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති මිල ඉහළ යාම සහ ජපාන යෙන් (Yen) මුදල දුර්වල වීම සැලකිල්ලට ගනිමින් ජපාන මහ බැංකුව (BOJ) සිය මූලික පොලී අනුපාතය ලබන ජූනි මාසය වන විට 1.00% දක්වා ඉහළ දමනු ඇතැයි රොයිටර් පුවත් සේවය සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ආර්ථික විද්‍යාඥයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් පුරෝකථනය කරන්නේ අප්‍රේල් 27-28 දිනවල පැවැත්වෙන මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීමේදී හෝ ජූනි මාසයේදී මෙම තීරණාත්මක පියවර ගනු ඇති බවයි.
පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද්ධය හේතුවෙන් ජපානය වැනි ආනයන මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක උද්ධමනය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇත. මෙම යුදමය වාතාවරණය නිසා ඉදිරි වසර තුළ ජපානයේ පාරිභෝගික මිල දර්ශකය 0.2% සිට 0.4% දක්වා අගයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා ජපානය මෙලෙස වසර ගණනාවකට පසු සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් වෙත යොමු වීම ගෝලීය වෙළඳපොළ කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














