27 April 2024
#දේශීය

උපාධිධාරි පත්වීම් අත්හිටුවීම යළි සලකා බලන්නැයි මැකොට කියයි

උපාධිධාරී පත්වීම් අත්හිටුවීම යළි සලකා බලන්න යැයි ඉල්ලීම් කිරීමට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ 2020 වැඩසටහන යටතේ මාර්තු 01 සිට උපාධිධාරීන්ට ලබා දී ඇති අභ්‍යාසලාභී පුහුණු පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම ඊයේ (04) දින ගනු ලැබු පියවර හමුවේ උපාධිධාරින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

එසේම පාර්ලිමේන්තුව මාර්තු 02 විසුරුවා හැරීමට නියමිත බව ආණ්ඩුව හොඳාකාරවම දැන සිටිමින් එම දිනයේ ම අදාළ වන පරිදි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම ආණ්ඩුව හිතාමතාම උපාධිධාරීන් තවදුරටත් අසහනයට පත්කිරීමක් බව පෙනී යන බව ඔවුන් කියා සිටියේය.

කෙසේ වෙතත් ආණ්ඩුව සත්භාවයෙන් ම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් 2019 නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි 31 දක්වා මාස 03 ක කාලයක් ආණ්ඩුවට ඉඩ තිබූ බව පැහැදිලි සත්‍යයක් වන අතර රැකියා ලබා දීම බාධාවකින් තොරව අවශ්‍යව තිබුණේ නම් අදාළ බඳවාගැනීමේ ප‍්‍රමාණය රාජ්‍ය සේවා කොමිසම මගින් අනුමත කරගෙන පසුව අවශ්‍ය නම් මැතිවරණ කොමිසමෙන් ද අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවට ප‍්‍රමාණවත් කාලයක් තිබූ බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය කියා සිටියේය.

එම කරුණු කිසිවක් සැලකිල්ලට නොගනිමින් මැතිවරණ කොමිසම හරහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුව ක‍්‍රියාකර තිබීම රැකියා විරහිත උපාධිධාරීන් 56 000 කට කළ බලවත් අසාධාරණයක් බව ඔවුන් කියා සිටියේය.

උපාධිධාරීන් 56 000 කට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පත්ව සිටින කායික මානසික හා සමාජීය පීඩාව සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය යළි සලකා බලා සහනදායී විසදුමක් ලබා දීමට කටයුතු කිරීමට හැකියාවක් තිබේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇති අතර ඒ අනුව අද උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, බාහිර උපාධිය සුරැකිමේ සංවිධාන එකතුව, ඌන සේවා උපාධිධාරී සංගමය නියෝජනය කරන නායකයින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමඟ  හමුවීමට නියමිතය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *