27 April 2024
#සංවර්ධන

එජාපය කිව්ව දේවල් කරන පක්ෂයක් බව ඇමැති රවි කියයි

එක්සත් ජාතික පක්ෂය කියන දේ කරන පක්ෂයක් බවත් ප්‍රශ්ණ ගැටළු විසඳනවා කිව්වහොත් එය විසදන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය වාසස්ථාන අහිමිවූ ජනතාව වෙනුවෙන් ඔවුනට හිමි වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ” කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ඉදිවන ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2013.07.15 දින ආරම්භ කළ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුවේ. මෙගාවොට් 35 ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත මෙම විදුලිබලාගාර ව්‍යාපෘතියෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් නිෂ්පාදනය කළ හැකිවේ. එම නිපදවන විදුලිය කි.මී. 5.3 ක් දිග ද්විත්ව රැහැන් මාර්ගයක් මගින් පොල්පිටිය බලාගාරයේ වහරු අංගනය වෙත ගෙනයාමෙන් පසු ජාතික විදුලිබල පද්ධතිය හා සම්බන්ධ වනු ඇත.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහාවන ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 82 ක් වේ. මේ සදහා චීනයේ කර්මාන්ත හා වානිජ බැංකුව මගින් 85% ක් හා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මගින් 15% ක මුදලක්ද වානිජ ණය වශයෙන් ලබාදෙන ලදී. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චීන රජයට අයත් සමාගමක් වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් සමාගම මගින් සිදුකරන අතර එහි උපදේශන හා අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේන කාර්යාංශය මගින් සිදුකරනු ලබයි. මේවන විට ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල 91%, කෙහෙල්ගමු ඔය වේල්ල 67%, ප්‍රධාන උමග 71%, කැළඹුම් ළිද 64%, විදුලි බලාගාරය 57%, වහරුගත අංගනය 09%, වශයෙන් සමස්ත බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය 61 % වශයෙන් දැක්විය හැක.

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරය ඉදිකිරිම මගින්, වාර්ෂිකව පරිසරයට නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායු මෙට්‍රික්ටොන් 88,000 ප්‍රමාණයක් වළක්වාගත හැකිවන අතර එය ජාත්‍යන්තර කියෝටෝ සම්මුතිය යටතේ පිහිටුවා ඇති පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය හා බැදුණු ලංකාවේ ප්‍රථම මහා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘතිය වීම, මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයකි. මෙම ව්‍යාපෘතිය අවසන්වූ පසු ජලවිදුලි කෞතුකාගාරයක් ඇතුළුව බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් මෙමගින් ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයටද සුවිශේෂී ස්ථානයක් හිමිවේයැයි අපේක්ෂා කෙරේ. යැයි අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *