27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය නැති කිසි දෙයක් කරන්න බෑ – දුමින්ද දිසානායක කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙ‍නෙක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (11) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සමඟ පැවති සාකච්ජාවකදීය. ඉදිරි දේශපාලන කටයුතු හා මැයි දින රැස්වීම පිළිබඳව පසුගිය පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව සංවිධානය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට හැමදාමත් අවශ්‍යය කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් අවශ්‍යය කරන්නේ, ඒ නිසා සන්ධානයක් විදිහට අපි හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කරන්නත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍යය කටයුතු කරනවා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයා කළ කිරෙන, අසරණ වෙන විදිහේ කටයුත්තක් අපේ පක්ෂය කරන්නේ නෑ කියන කාරණාව ප්‍රකාශ කරනවා. අපි ජනාධිපති මැතිවරණය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වය, සහයෝගය නැතිව මොනම ජනාධිපතිවරයෙක්ටවත් දිනන්න පුළුවන්කමක් නෑ, පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වය නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධය නැතිව කාටවත් තනි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ, එහෙම නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කණ්ඩායමක් එළියට ගිහින් වෙනත් පක්ෂයක් හදන් හිටියත් අද තීරණාත්මක සාධකය වෙලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඒ නිසා වැටෙන්න ,කළකිරෙන්න ඕන නෑ, අපි හැමෝම ඒ තීරණාත්මක බලවේගයත් එක්ක නැගිටින්න, ශක්තිමත් වෙන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදරට සියලු දෙනාම ගෙන්වා ගැනීමේ හැකියාවත් තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ, මේ කාරණාව සිහියේ තබා ගන්න, අද අපි මහා බලවේගය නොවුනත් අපි තීරණාත්මක බලවේගය බවට පත් වෙලා තියෙනවා.මහා බලවේගය නොවුන, තීරණාත්මක බලවේගයට වැඩි බලතල ලැබෙයි, වැඩි හයියක් ලැබෙයි, වැඩි අවස්ථාවක් ලැබෙයි.ඒ තීරණාත්මක බලවේගය ලෙස ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ඔබ සියලු දෙනාගේ ශක්තිය ලබා දෙන්න, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *