27 April 2024
#දේශීය

එජාප පාක්ෂිකයාව ජනපතිට අමතකයි – අකිල කියයි

එක්සත් ජාතික පක්ෂය දිය කිරීම සඳහා වැඩපිළිවෙල සකස් කිරීමට ජනාධිපතිවරයා පසුගිය කාලසිමාව තුළ කටයුතු කළ අතර ඔහුට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා අමතක කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මූලස්ථානයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂය අනුබද්ධ ආයතන සංවිධානය කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ලද විශේෂ රැස්වීමක දීය.

වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පක්ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, රටක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කැප කිරීම් තමා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස කෘතවේදීව සිහිපත් කරන බව හෙතෙම පැවසිය.

ඇතැම් අවස්ථාවල දී තමා වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොවන පුද්ගලයින් පවා මේ මොහොතේ පක්ෂය වටා එක් වෙමින් විශාල කැප කිරීමක් සිදු කරන බව ද මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලය මුළුල්ලේ ම එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් බොහෝමයකට ජනාධිපතිවරයා විසින් අකුල් හෙලමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් වූ බවත්,බොහෝ අවස්ථා වලදී ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට ලැබේය යන බිය හේතුවෙන් මෙ⁣ම බාධා කිරීම සිදුකළ බව පැහැදිලි වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *