දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දීමට සිදුව ඇති වඩාත්ම “සංකීර්ණ සහ තර්ජනාත්මක” භූ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින 2% ක ආරක්ෂක වියදම් ප්‍රමාණය 2033 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3% දක්වා ඉහළ නංවන බව ඕස්ට්‍රේලියාව අද (15) නිවේදනය කළේය. මේ අනුව ඉදිරි දශකය තුළ ආරක්ෂක ක්ෂේත්‍රය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 117 ක අතිරේක මුදලක් වැය කිරීමට රජය සැලසුම් කර ඇත.
ගෝලීය වශයෙන් මතුව ඇති යුදමය වාතාවරණය සහ ඉන්දු-පැසිෆික් කලාපය තුළ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව සහ චීනය අතර පවතින තරගකාරීත්වය හමුවේ සිය ආරක්ෂක ශක්තිය වර්ධනය කර ගැනීම ඕස්ට්‍රේලියාවේ මූලික අරමුණ වී තිබේ. මීට සමගාමීව, ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ද කැන්බරා පාලනයෙන් ඉල්ලා ඇත්තේ සිය ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා ඉහළ නංවන ලෙසයි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඇතුළත් ජාතික ආරක්ෂක උපාය මාර්ගික වාර්තාව (National Defence Strategy) හෙට (16) නිකුත් කිරීමට නියමිතය. ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය වෙමින් පවතින මෙවන් වකවානුවක හමුදාමය ශක්තිය තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් (Richard Marles) පෙන්වා දෙයි.














