ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තා කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (08) නියෝග කළේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ පිහිටි සිය නිවසේ දොරක එල්ලී මියගොස් සිටියදී අද දින චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයාගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා ඒ බව තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථාන පරීක්ෂණයක් ද පවත්වනු ලැබීය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා, ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැර තිබුණි. කෙසේ වෙතත්, අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් මත ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) අධිකරණය නියෝග කර තිබියදී මෙම මරණය සිදුවීම විශේෂත්වයකි.













