මීගහකිවුල, කරමැටිය ප්‍රදේශයේ ගම්වැසියන් මේ වන විට වන අලි රංචු හේතුවෙන් දැඩි පීඩාවකට සහ ජීවිත අවදානමකට මුහුණ දී සිටින බව වාර්තා වේ. ලොග්ගල්ලා ඔය ජලාශයට එගොඩ පිහිටි රක්‍ෂිතයේ සිට කඩා වදින මෙම අලි රංචු, රාත්‍රී කාලයේ ගම්මානවලට පිවිස ගෙවතුවල වගා කර ඇති කෙසෙල්, පොල් ඇතුළු භෝග විනාශ කරමින් ගම්මුන්ගේ දෛනික කටයුතුවලට බාධා පමුණුවයි.
ඊයේ (25) අලුයම් කාලය වන තුරුත් තනි අලියෙකු ගම්මානයේ සැරිසැරූ බව පවසන ගම්වැසියන්, දිට්වා සුළි කුණාටුවෙන් පසුව ජලාශය ගොඩවීම නිසා වන අලි පහසුවෙන් ජලාශය හරහා ගම්මානයට පිවිසෙන බව පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත පාසල් දරුවන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති අතර, තමන්ගේ ගමන් බිමන් පවා සීමා කිරීමට සිදුව ඇති බව ඔවුන් පවසති.සමස්ත ගම්මානයම දැඩි බියකින් හා අවදානමකින් පසුවන හෙයින්, අදාළ බලධාරීන් කඩිනමින් මේ කෙරෙහි අවධානය යොමු කර මෙම වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.
















