මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව පියවර ගෙන තිබේ. මෙම විශේෂ සාකච්ඡාව වැඩබලන අටමස්ථානාධිපති, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
පොසොන් සමය තුළ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට ආරක්ෂක අංශ මෙහිදී සැලසුම් කර ඇත. එමෙන්ම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහ පොදු මහජන පහසුව සැලකිල්ලට ගනිමින්, පෙර දැනුම්දීමකින් සහ පූර්ව අනුමැතියකින් තොරව පූජා භූමිය තුළ කිසිදු දන්සලක් පැවැත්වීමට අවසර නොදීමට ද කමිටුව තීරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, පූජා නගරයට පැමිණෙන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී, ඓතිහාසික පූජා භූමියේ පරිසර පද්ධතියට හානි නොවන අයුරින් ඉතාමත් සෞම්‍ය සහ පරිසර හිතකාමී ලෙස සිය වන්දනා කටයුතුවල නිරත වන ලෙසයි.
















