ඓතිහාසික කතරගම පුදබිම බලා පාද චාරිකාවෙන් ගමන් ගන්නා බැතිමතුන් දස දහසකට අධික පිරිසක් කුමන ජාතික වනෝද්‍යාන පිවිසුම අසල පිහිටි ඔකද දේවාල පරිශ්‍රයේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ.
වනෝද්‍යාන පිවිසුම විවෘත කිරීමට නියමිත 10 වැනිදා උදෑසන දක්වා එහි රැඳී සිටින මෙම බැතිමතුන් වෙනුවෙන් කිසිදු මූලික පහසුකමක් සලසා නොමැති බව පැවසේ. ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ පවතින දැඩි ජල හිඟයයි.
පවතින වැසිකිළි භාවිත කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 30ක මුදලක් අය කළ ද, එම වැසිකිළි සඳහා ජලය නොමැත. ජල පහසුකම් නොමැතිකම හේතුවෙන් බැතිමතුන් සිය මූලික අවශ්‍යතා සඳහා කැලෑ වැදීමට සිදුව ඇති අතර, එමගින් වන සතුන්ගෙන් එල්ල විය හැකි අනතුරු හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්වන ස්ථානයක මූලික පහසුකම් සොයා බැලීමට ප්‍රාදේශීය සභාවේ හෝ වෙනත් වගකිවයුතු ආයතනයක නිලධාරියෙකු නොමැති බව බැතිමතුන් චෝදනා කරති.
වන්දනාකරුවන් පෙන්වා දෙන්නේ වන්දනා සමයේදීවත් මෙවැනි අත්‍යවශ්‍ය පහසුකම් පිළිබඳව බලධාරීන්ගේ නිසි අවධානයක් නොලැබීම කනගාටුදායක බවයි.
















