ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි ප්‍රකට ‘පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ (Palm Beach International Airport) නිල වශයෙන් ‘ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ (President Donald J. Trump International Airport) ලෙස ඊයේ (ජූලි 09) සිට නම් කර තිබේ. රොයිටර් පුවත් සේවය සඳහන් කරන පරිදි, මෙම නාම වෙනස සිදුකර ඇත්තේ ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රොන් ඩේසැන්ටිස් මහතා විසින් පසුගිය මාර්තු මාසයේදී අත්සන් කළ විශේෂ පනතකට අනුවයි.
ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් ගුවන් තොටුපළ හඳුනාගැනීමේ ‘PBI’ යන අකුරු තුනේ ජාත්‍යන්තර සංකේතය, ජනාධිපතිවරයාගේ නම නිරූපණය වන පරිදි ‘DJT’ ලෙස නිල වශයෙන් වෙනස් කර ඇත. කෙසේ වෙතත්, ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ පද්ධති, ටිකට්පත් සහ ගමන් මලු ටැග් සඳහා මෙය අගෝස්තු 18 වැනිදා දක්වා ‘PBI’ ලෙසම පවතින බවත්, ඉන්පසුව සම්පූර්ණයෙන්ම යාවත්කාලීන වන බවත් බලධාරීන් පවසති.
මෙම සමස්ත නාම සංශෝධන සහ පද්ධති යාවත්කාලීන කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වැය වී ඇත. ට්‍රම්ප් මහතාගේ සුඛෝපභෝගී නිිකේතනය වන ‘මාර්-ඒ-ලාගෝ’ පිහිටා තිබෙන්නේ ද මෙම පාම් බීච් කලාපයේමය.
නව නාමය සහිත ගුවන් තොටුපළ වෙත ගොඩබස්වන ලද ප්‍රථම ගුවන් යානය බවට පත්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පුත් එරික් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ පිරිස රැගත් පෞද්ගලික ගුවන් යානයයි. “පළමු යානය ලෙස භාණ්ඩ ප්‍රවාහන යානයක් මෙහි ගොඩබස්වන්නට මට අවශ්‍ය වූයේ නැත” යැයි එරික් ට්‍රම්ප් ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබේ.
















