27 April 2024
#දේශීය

කුරිරු බලවේග මුලිනුපුටා දැමීමට එකම ජාතියක් ලෙස එක්වන්න – කථානායක

පසුගිය 21 වනදා දිවයින පුරා ඇති වු ඛේදනීය සිදුවීම සිදු කළ කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කළ යුතු බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා විසින් අද (23) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පසුගිය අප්‍රේල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු ම්ලේච්ඡ ප්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවෙකු විසින් අනුමත නොකරන මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ‍වෙනුවෙනුත්, ස්වකීය සමීපතමයන් අහිමිවීම තුළ අපමණ සංතාපයට පත්ව සිටින සියළු දෙනා වෙනුවෙනුත් හද පත්ලෙන්ම නැගෙන බලවත් ශෝකය පළකර සිටින අතර, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියළුදෙනා වෙතද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද කථායකවරයා පැවසිය

මෙවන් තත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කරන බව හෙතෙම පැවසිය.

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයකි. එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින් විග්‍රහ නොකර අවබෝධයෙන් යුතුව මුහුණ දෙමින් සාමය සමගිය ආරක්ෂා කල ජනතාවට ගෞරවය පුද කරන බව ඔහු අනාවරණ කළේය.

මෙම විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටු කල ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින්ට ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට ද අපගේ ආචාරය පුද කරන අතර, එහි දී ස්වකීය ජිවිත පූජා කල පොලිස් නිළධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ කැපවීම ද ගෞරවයෙන් සිහිපත් කරන බව කථානායක කරු ජයසුරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *