බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී, ගල්අඟුරු ආනයනය පිළිබඳ මතුව ඇති තත්ත්වය අමාත්‍යවරුන් විසින් පැහැදිලි කරන ලදී.
බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් රජයට හෝ මහජනතාවට පාඩුවක් සිදුනොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය. සැපයුම්කරු විසින් ලබා දුන් ගල්අඟුරුවල ප්‍රමිතිය අසමත් වීම නිසා, එම සමාගමට ගෙවීමට තිබූ රුපියල් කෝටි 500ක මුදලක් සහ රුපියල් කෝටි 450ක කාර්යසාධන බැඳුම්කරය ඇතුළුව රුපියල් කෝටි 915කට අධික මුදලක් රජය සතුව පවතින බව ඔහු පැවසීය.
තත්ත්වයෙන් බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවිය හැකි රුපියල් කෝටි 800ක පමණ ඇස්තමේන්තුගත පාඩුව ආවරණය කිරීමට මෙම රඳවාගෙන ඇති රුපියල් කෝටි 915ක මුදල ප්‍රමාණවත් බව රජය පෙන්වා දෙයි. එබැවින් මෙම පාඩුවේ බර සැපයුම්කාර සමාගම විසින් දරනු ලබන අතර, එය විදුලි බිලට එකතු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සාකච්ඡාවට එක්වූ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මහතා පවසා සිටියේ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැවත හරවා යැවීමට නොහැකි බැවින්, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන සෑම අවස්ථාවකදීම අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවයි.












