27 April 2024
#දේශීය

ගෝඨාගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.

එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියේය.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි මෙම නඩුව විභාගයට ලෙස දන්වමින් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයේ පිටපතක් විත්ති පාර්ශවය වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නැමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව ලබන 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තර ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

.

Leave a comment

Your email address will not be published. Required fields are marked *