27 April 2024
#දේශීය

ජනතාව බලාපොරොත්තු වන්නේ විනයගරුක හා සාධාරණ සමාජයක් – ලාන්සා කියයි

රටේ මහ ජනතාව බලාපොරොත්තු වන්නේ විනයගරුක හා සාධාරණ සමාජයක් බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දින හැදළ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ විනයගරුක සමාජයක් බිහි කිරීමට අවශ්‍ය නිවැරදි නායකත්වය මහජනතාව විසින් තෝරාගෙන අවසන් බවත් ඉදිරියට පැමිණ තිබෙන්නේ එම නායකත්වයට ශක්තියක් විය හැකි වැඩකළ හැකි පිරිසක් තෝරා ගැනීමේ අවස්ථාව බවයි.

එසේම බොහොමයක් ගැටළු ජනතා හිතවාදී ලෙස විසදිය හැකි බවත්, සියළු පාර්ශවයන්ගේ යෝජනා සහ චෝදනා වලට අවධානය යොමු කර රටට හිතකර තීරණ ගැනීමේ වගකීම දේශපාලඥයා සතු බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය සහ විදේශීය වශයෙන් එල්ල වන සියළු අභියෝග වලට නිවරදිව මුහුණ දෙමින් රටත් ජනතාවත් ආරක්ෂා කරමින් රටට සෘජු නායකත්වයක් ලබා දෙන අතර මහ මැතිවරණයෙන් පසු එළබෙන ඉදිරි වසර 05 ක කාලය රට සංවර්ධනය කරා ගෙන යන අතර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතවාදී ලෙස කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඒ අනුව ඉදිරියේදී සංවර්ධන කටයුතු වඩාත් පරිසර හිතකාමි ලෙස සිදු කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *