27 April 2024
#දේශීය

ජනපති බලයෙන් ආරූඪ වෙලා – මනුෂ කියයි

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරුන් මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමින්.

එහිදී මනුෂ නානායක්කාර මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි මැතිවරණයකට යන්න ඕනෑම වේලාවක සූදානම්. හැබැයි ඒ මැතිවරණය නීත්‍යානුකූල මැතිවරණයක් වෙන්න ඕන. පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරකට කලින් විසුරවාහැරලා මැතිවරණයකට යන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තියෙන්න ඕන. තුනෙන් දෙකක අනුමැතියක් ගන්න ඕන. එහෙම නැතිව මැතිවරණයකට යන්න බෑ. පාර්ලිමේන්තුව විසුරවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරකට කලින් පාර්ලිමේන්තුව විසුරවාහැරීමට බලයක් නෑ. අවුරුදු හතරහමාරකට කලින් ඡන්දයකට යන්න ඕන නම් නියමාකාරයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා මැතිවරණයකට යමු. නැතිනම් අවුරුදු හතරහමාරකට පස්සේ මැතිවරණයකට යමු. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්.

දැන් නීති විරෝධී ආණ්ඩුවක් තියෙන්නේ. මේ නීති විරෝධී ආණ්ඩුවෙන් ගන්නා තීන්දු තීරණ නීත්‍යනුකූල නෑ. ඒවාට විරුද්ධව අපි කටයුතු කරනවා. දැන් ජනාධිපතිවරයා සාකච්ඡාවලට එන්න කියලා තියෙනවා. මෙහෙම එන්න කියලා ජනාධිපතිවරයා එක්ක ඉන්න අයටත් ඇමැතිකමක් දෙකක් ගන්නයි හදන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නෑ. අපි දැන් බහුතරය පෙන්නලා තියෙනවා. ඒ බහුතරය අනුව කටුයතු කරන එක තමයි දැන් කළ යුතු වන්නේ.

ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් තමන්ට ඇති බලතල පාවිච්චි නොකළ ආකාරයට තමයි මේ ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරන්නේ. ඉතාමත් අශිලාචාර ලෙස විධායක බලතල භාවිතා කළ ජනාධිපතිවරයා ලෙස මෙම ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වෙනවා. ඔහුට ගෑනියෙක් පිරිමියෙක් කරන්න පුලුවන් නම් ඒකත් කරාවි. මේ ජනාධිපතිවරයා බලයට එන්න කලින් කිව්වේ විධායක බලතල අහෝසි කරනවා කියලයි. 19 වැනි සංශෝධනයෙන් පසුවත් ජනාධිපතිවරයාට සැලකිය යුතු විධායක බලයක් තිබෙනවා. හැබැයි ව්‍යවස්ථාවේ නැති බලයක් ආරූඪ කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒක වැරදියි.

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාය කියලා හැගිලා ඔහු අගමැතිවරයා ලෙස පත් කරන්න ඇති. හැබැයි ඒ හැගිම් දැනීම් හරිද කියලා දැන් පේනවානේ. මන්ත්‍රීවරු 122ක් අත්සන් කරලා ජනාධිපතිවරයාගේ හැගීම වැරදියි කියලා පේනවානේ. ඊට පස්සේ ඉලෙට්‍රොනික් ඡන්ද ක්‍රමයකිනුත් බහුතරය තියෙන්නේ කාටද කියලා පෙන්නලා තියෙනවානේ. එහෙම කරලා තිබියදීත් බහුතරය කාටද කියලා තේරුම් ගන්න බැරි හැගීම් දැනීම් නැති අයෙක්ට විතරයි. යැයි මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *