ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ අනන්‍යතාවයන් අනිසි ලෙස භාවිතා කරමින්, ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් හරහා සිදුකරන මූල්‍ය වංචා සහ කප්පම් ගැනීමේ උත්සාහයන් ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි. මෙවැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් වෙත එවන පණිවිඩ සහ ඇමතුම් සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙස මහජනතාවට අවධාරණය කෙරේ.
මෙම වංචනික ක්‍රියාවලියේදී, සැකකරුවන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ පැතිකඩ (Profiles) නිර්මාණය කර, පසුව එම පුද්ගලයින්ට විවිධ අපරාධ චෝදනා එල්ල කරමින් හෝ පරීක්ෂණ පවත්වන බව පවසමින් බිය ගන්වයි. නීතිමය ක්‍රියාමාර්ගවලින් මිදීමට හෝ පවතින පැමිණිලි විසඳා ගැනීමට මුදල් ගෙවිය යුතු බව පවසමින්, වංචනිකයන් විසින් වින්දිතයන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටින බව පොලිසිය අනාවරණය කරයි.
ශ්‍රී ලංකා පොලිසිය කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය වේදිකා හෝ පෞද්ගලික පණිවිඩ හුවමාරු ගිණුම් හරහා මහජනතාවගෙන් මූල්‍ය ගනුදෙනු සිදු නොකරන බව බලධාරීන් පැහැදිලි කරයි. එමනිසා, දුරකථන ඇමතුම්, WhatsApp හෝ Telegram පණිවිඩ හරහා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලා සිටින කිසිවෙකුට හෝ මුදල් හෝ දේපළ හුවමාරු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
යම් හෙයකින් මෙවැනි සිද්ධියකට ඔබ මුහුණ දෙන්නේ නම්, කිසිසේත්ම කලබල නොවී වහාම තමන්ට ආසන්නම පොලිස් ස්ථානය වෙත ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන්න. අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමුවී සැක සහිත සිද්ධිය පිළිබඳව සෘජුවම විස්තර ලබා දෙන්න. නිල මාර්ග හරහා තොරතුරු සත්‍යාපනය කරගන්නා ලෙසත්, වංචනිකයන්ට අවස්ථාවක් ලබා නොදෙන ලෙසත් බලධාරීන් උපදෙස් දෙයි.
මෙවැනි වංචාවන් මැඩපැවැත්වීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර, සැක සහිත ඕනෑම සන්නිවේදනයක් හෝ වංචා කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව වහාම බලධාරීන්ට දැනුම් දීමෙන් සහය ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















