27 April 2024
#සංවර්ධන

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “රන්කෙත“ සහල් සන්නාමය එළිදක්වයි

සහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරයට එරෙහිව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන “ශක්ති“ සහල් වැඩසටහන තවත් සංධිස්ථානයකට පැමිණෙමින් අපනයන ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල් සන්නාමය ඊයේ (21) වැලිසර, සතොස තොග ගබඩා පරිශ්‍රයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නායකත්වයෙන් හඳුන්වා දී ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල් එක් නිශ්චිත වී ප්‍රභේදයකින් පමණක් නිෂ්පාදනය කරන බව මෙම අවස්ථාවේදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරය හමුවේ මෙම වැඩසටහනට එල්ල කරන බාධාවන් වැඩිවෙමින් තිබෙන බවත් එම බාධාවන් ජයගෙන වී ගොවියාටත්, සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයාටත්, පාරිභෝගිකයාටත් සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම වැඩසටහන තව තවත් ශක්තිමත් කිරීමට තමා අදිටන් කරගෙන සිටින බවයි.

2019 මහ කන්නයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වී අලෙවි මණ්ඩලය හරහා මිලදීගත් මෙට්‍රික් ටොන් 50,000 ක් පමණ වී තොගය මගින් නිෂ්පාදිත “ශක්ති“ සහල්ද එම අවස්ථාවේදීම අමාත්‍යවරයා විසින් වෙළඳපොළට නිකුත් කළ අතර මෙම සහල් මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සැල් වලින් පාරිභෝගිකයින්ට මිලදීගත හැකිවේ.

පසුගියදා ජීවන වියදම් කමිටුවේ තීරණය මත සීමාසහිත ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සාමාජිකත්වය දරණ දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වෙත මෙම මෙට්‍රික් 50,000 ක් පමණ වන වී තොගය ලබාදුන් අතර එම වී වලින් ශක්ති, තම්බපන්නි සහ රන්කෙත සන්නාම යටතේ සහල් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් විසින් නිෂ්පාදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *