මෙරට වී වගාවේ ඵලදායීතාව සහ අස්වැන්න ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වියට්නාම කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය (Vietnam Academy of Agricultural Sciences) අතර කෘෂිකාර්මික සහයෝගිතාව වෙනුවෙන් 2025 මැයි මස 5 වැනිදා එළඹි අවබෝධතා ගිවිසුමට (MoU) අනුකූලව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. ‘ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ දෙමුහුන්කරණය තුළින් ඉහළ අස්වැන්නක් සහ ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම’ (Developing high-yielding and salinity-tolerant rice varieties) යන්න මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන තේමාවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දෙරට අතර වී ප්‍රභේදවල ජාන ප්ලාස්ම ද්‍රව්‍ය (Germplasm) අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමට නියමිතය. එමෙන්ම ඒකාබද්ධ අභිජනන සහ දෙමුහුන්කරණ වැඩසටහන් පැවැත්වීම, ලාංකීය දේශගුණික හා පස් තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඉදිරි අභිජනන පෙළපත් ඇගයීම සහ තෝරා ගැනීම මෙන්ම විශේෂ ක්ෂේත්‍ර අත්හදා බැලීම් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත. මීට අමතරව කෘෂිකාර්මික පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ දේශීය කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ද මෙමඟින් සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වේ. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කරදිය මුසුවීම නිසා ලවණතාව ඉහළ යන කුඹුරු ඉඩම් අත්හැර දැමීමට සිදුවන මෙරට ගොවීන්ට මෙමඟින් දිගුකාලීන සාර්ථක විසඳුමක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














