27 April 2024
#සංවර්ධන

ඩිජිටල් ගුරුවරයෙක් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බවත්, ඒ වෙනුවෙන් පහසුවෙන් සහාය කරගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළඟදීම පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු සූදානම් ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ‘ළඟම පාසල හොඳම පාසල ‘ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන්ට නව ලොව නව දැනුම සමඟ එක්වීමට ඩිජිටල් තාක්ෂණයේ සහාය ලබා දීම පිණිස නොමිළේ ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධ යෝජනාව 11 වරක් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට සිදු වූ බව ද, කෙසේ හෝ එම විප්ලවීය තීන්දුව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන්නට අවසානයේ ජනාධිපතිවරයාගෙ, ගරු අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

ඒ අනුව සියලු ම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු මාසයේ දී ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඉදිරි මාස කිහිපය තුළ සියලු ම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ද ඉන් අනතුරුව මෙම පහසුකම සමස්ත පාසල් පද්ධතිය වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඇතැම් පාසල්වල අපිළිවෙළට, අසංවිධානාත්මක ව ගොඩනැගිලි, වැසිකිළි ඒකක ආදිය ඉදිකර ඇති අයුරු තමාට නිරීක්ෂණය වූ බවත්, එවැනි ඉදිකිරීම්වලට ඉදිරියේ දී ඉඩ නොතබන බවත් එක් නිශ්චිත ප්‍රමිතියකට සෑම පාසලක ම ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකිරීමට මූලික සැලැසුම් (මාස්ටර් ප්ලෑන්) සෑදීමට පියවර ගන්නා ලෙස මේ වනවිටත් චක්‍රලේඛ මගින් විදුහල් ප්‍රධානීන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරු 4000ක් බඳවාගත් බව ද, ඉදිරියේ දී තවත් 2000ක් බඳවාගැනීමට කටයුතු සූදානම් ව පවතින බව ද ගුරු අධ්‍යාපනඥ සේවයට 1190ක් ද අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් 852ක් ද බඳවාගැනීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ක්‍රීඩා පුහුණු කරුවන් 3888ක් බඳවාගැනීමට නොබෝ දා කටයුතු කළ බවද ප්‍රකාශ කළේ ය.

මේ අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *