27 April 2024
#දේශීය

කුළුදුල් ඡන්දය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙම කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ ආණ්ඩුවේ ප‍්‍රධාන අනුග‍්‍රහය සහිතව සිදු කෙරෙන ක‍්‍රියාදාමයක් බව අද (22) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දි පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

තරුණ තරුණියන් විශාල පිරිසක් වත්මන් රජය කෙරෙහි දැඩි කළකිරීමෙන් සිටින බවත් 2015 ආණ්ඩුව පත් වන අවස්ථාවේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම එයට හේතුව බව වත්මන් රජය හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම නිසා තරුණ ඡන්ද වැඩි ප‍්‍රමාණයක් විරුද්ධ බලවේගයන් කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතින බැවින් ආණ්ඩුව මෙම දැවැන්ත කුමන්ත‍්‍රණය හරහා තුන් ලක්ෂ විසි හත් දහසක් වන තරුණ තරුණියන්ගේ ඡන්ද අවලංගු ඡන්ද බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටී.

මෙය එම තරුණ තරුණියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම 2019 වසරේ දී සකස්කළ ඡන්ද නවතම ඡන්ද නාම ලේඛණය අනුව ඉදිරි මැතිවරණ පවත්වන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *