දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ විපක්ෂ දේශපාලනඥයෙකු සහ ‘ආර්ථික නිදහස් සටන්කාමීන්’ (EFF) පක්ෂයේ නායක ජූලියස් මලේමා (Julius Malema) හට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට එරට මහේස්ත්‍රාත් අධිකරණය අද (16) පියවර ගෙන තිබේ. 2018 වසරේදී නැගෙනහිර කේප් ප්‍රාන්තයේ පැවැති ජන රැළියකදී ගිනි අවියක් ගුවනට එල්ල කර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මොහුට මෙම දඬුවම නියම වී ඇත.
නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ ප්‍රසිද්ධ ස්ථානයක ගිනි අවියක් ක්‍රියාත්මක කිරීම ඇතුළු චෝදනා පහකට මොහු වරදකරු වී තිබේ. කෙසේ වෙතත්, මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ සැණින් මලේමාගේ නීතිඥයන් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. මෙම සිර දඬුවම ස්ථාවර වුවහොත් ජූලියස් මලේමාට සිය මන්ත්‍රී ධුරය අහිමි වනු ඇති අතර, එය දකුණු අප්‍රිකාවේ සිව්වැනි විශාලතම පක්ෂය වන EFF පක්ෂයට එල්ල වන දැවැන්ත දේශපාලන බලපෑමකි.
දකුණු අප්‍රිකාවේ තරුණ ප්‍රජාව අතර දැඩි ජනප්‍රියත්වයක් උසුලන 45 හැවිරිදි මලේමා, මෙම චෝදනාවලට තමන් නිර්දෝෂී බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපෑලෙන් පසුව ලැබෙන අවසන් තීන්දුව දකුණු අප්‍රිකානු දේශපාලන ගමන්මගෙහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.














