27 April 2024
#සංවර්ධන

දළ දේශීය නිෂ්පාදිතයට ශක්තියක් විය හැකි නව නිර්මාණ දිරිමත් කරන්න – රාජ්‍ය අමාත්‍ය තිලංග

රටක දියුණුව පිළිබඳ ප්‍රධාන මිනුම් දර්ශකයක් වන දළ දේශීය නිෂ්පාදිතය සඳහා ශක්තියක් වන නව නිර්මාණ දිරිමත් කිරීමට කටයුතු කරන ලෙස තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට කළ නිරීක්ෂණ චාරිකාවක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ලෙස අපි අලෙවි කළ හැකි නිෂ්පාදන පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා මුදල් ඉපයීමට හැකි අවශ්‍යතා හඳුනාගත යුතුයි. මුදල් ඉපයීමට නම් විකිණීමත්, විකිණීම සඳහා නිෂ්පාදනයකුත් අවශ්‍ය වෙනවා. මේක තමයි අපි දැකිය යුත්තේ. නව නිෂ්පාදනයකට ඒ හා සමාන අනෙක් නිෂ්පාදන සමග තරග කිරීමට හැකි ලෙස කාර්යක්ෂමතාවක් සහ නවීන බවක් තිබිය යුතුයි. ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගෙන, ඒ අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දී නව නිෂ්පාදනයන් බිහි කිරීමට අවධානය යොමු කිරීම වැදගත්. ඒ වෙනුවෙන් ව නිපැයුම්කරුවන්ගේ කොමිසම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සමග සමීපව කටයුතු කිරීමත් ඉතා වැදගත් වෙනවා. විදේශීය නිෂ්පාදන ආනයනයට ක්‍රමයෙන් සීමා දමමින් දේශීය නිෂ්පාදකයා ඉහළට ගැනීමට රජය අවධානය යොමුකර තිබෙනවා. මේ සඳහා ඉලක්කගත රාමුවක් සහිත ජාතික වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරනවා. එසේම, සෑම නිර්මාණකරුවෙකු සඳහාම නව නිපැයුම් කොමිසම ශක්තියක් විය යුතු බවත්, නිෂ්පාදනයක් අසමත් වූ පමණින් නිර්මාණකරුවා මානසිකව කඩා වැටීමකට ඉඩ නොතබා දිරිගැන්වීම කොමිසමේ වගකීමක් බවත්, ඒ හරහා ඉදිරියේදී සාර්ථක නිර්මාණයක් බිහිවීමට මග විවර විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වැඩබලන සභාපතිනි, නිමලි කුලතුංග, අධ්‍යක්ෂ එන්. සී. දොලවත්ත යන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *