කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (17) දිනයේ දකුණු පළාතට මෙන්ම කොළඹ, කළුතර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දැඩි අකුණු අනතුරු පිළිබඳ විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් දිස්ත්‍රික්ක 07ක් සඳහා රතු නිවේදන ද, තවත් දිස්ත්‍රික්ක 11ක් සඳහා ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීම් ද ප්‍රකාශයට පත් කර ඇත. පස්වරු 1:00 න් පසුව දිවයිනේ බොහෝ ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, එම අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














