දින කිහිපයක් පුරා පැවති බාධා කිරීම්වලින් අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල සම්බන්ධතා 16,977කට සේවය සපයන බාලගොල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව බාලගොල්ල, දිගන, අලුක්වත්ත, වාරාපිටිය, ගම් උදාව, කුණ්ඩසාලේ, දඹරාව, විපසිරිගම මෙන්ම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල (BOI) සහ කාර්මික සංවර්ධන මණ්ඩල (IDB) කලාප වෙත නල ජලය සැපයීම යළි ආරම්භ වී තිබේ.
පසුගිය කාලසීමාවේ පැවති දැඩි නියඟය සහ ‘ඩිට්වා’ (Ditwa) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටීමත්, ජලය ලබාගන්නා ප්‍රදේශයේ අධික ලෙස මඩ තැන්පත් වීමත් නිසා අප්‍රේල් 6 සිට 15 දක්වා ජල සැපයුමට දැඩි බාධා එල්ල විය. මෙම තත්ත්වයට විසඳුම් ලෙස මණ්ඩලය විසින් තාවකාලික වේල්ලක් ඉදිකර ජලය ලබාගැනීමේ පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, දැනට ජලය හිඟ ප්‍රදේශ සඳහා බෝසර් මගින් ජලය සැපයීමට ද පියවර ගෙන ඇත. මීට අමතරව, මෙවැනි බාධා ඉදිරියට ඇතිවීම වැළැක්වීම සඳහා හාරගම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක නව නල මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ද ඉදිරි දින දෙක තුන තුළ අවසන් කිරීමට නියමිත බව මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.














