27 April 2024
#සංවර්ධන

දුම්රිය ඉතිහාසයේ පෙරළියක් … බහළුම් ප්‍රවාහන ගැල් ලංකාවට(ඡායාරුප සහිතයි)

ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් ඊයේ (16) ආනයනය කර ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25 ක් බවත් එම ඇණිය වැඩිකර ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ප්‍රවාහන ගැල් 20 ක් මෙරටට ආනයනයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි.

එහි පළමු අදියර යටතේ ගෙන්වූ බහළුම් ප්‍රවාහන ගැල් දහය කොළඹ වරායට ඊයේ ලැබුණ අතර අඩි 40 බහාළුම් ප්‍රවාහනය කළ හැකි එම ගැලක වටිනාකම ඇ.ඩො. 84, 200 කි. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15 ක් වන බව අමාත්‍යංශය පවසයි.

බහළුම් ප්‍රවාහන දුම්රිය ගැල් ලංකාවට ගෙන ඇත්තේ MIIKE PANAMA නෞකාවෙනි. එම නෞකාවෙන් ඉන්ධන ප්‍රවාහන ගැල් 05ක්ද ලංකාවට ‍ආනනයන කෙරිණ. එයද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේය. ඒ යටතේ ආනයනය කිරීමට අපේක්ෂිත මුළු ඉන්ධන ප්‍රවාහන ගැල් සංඛ්‍යාව 30ක් වේ. එහි එක් ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම ඇ. ඩො 85500 කි. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් නම් රු.මි. 15.2ක් වේ. ඉන්ධන ලීටර් 45000 ක් (ගැලුම් 10000ක්) එක් ගැලකින් ප්‍රවාහනය කළ හැකිය. මීට පෙර එවැනි ඉන්ධන ගැල් ආනනයක කර ඇත්තේ 2008 වසරේදී පාකිස්ථානයෙනි.

ඉංග්‍රීසි පාලකයින් ‍මෙරට වගාකළ ඔවුන්ගේ වැවිලි භෝග කොළඹ නැව් තොට වෙත ගෙන ඒම සඳහා දුම්රිය ගමනා ගමනය අරම්භ කළද පසුකාලීනව විශේෂ අවධානයක් යොමු වූයේ මගී ප්‍රවාහනය සඳහාය. මගී ප්‍රවාහනය අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය භාරය වී තිබේ. කෙසේ නමුත් මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවාහනය කෙරෙහිද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර තිබේ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ඉදිරි මාස කිහිපයකදී එහි සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා. දුම්රිය කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් නෙමෙයි. එය මහ‍ජන සේවාවක්. නමුත් රටට බරක් නොවී දුම්රිය සේවාව පවත්වාගෙන යා යුතු වනවා. ඒ සඳහා දුම්රිය සේවාවට ලැබෙන ආදයම නිසි ලෙස එකතු කිරීමත් ආදායම් මාර්ගවල වර්ධනයකුත් කළ යුතු වනවා. ඒ අනුව දියත් කරන සැලැස්මේ එක් පියවරක් ලෙසට දුම්රිය ඇණිය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා….”යිද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ වන විට ඉන්ධන අතුළු භාණ්ඩ ප්‍රවාහනයෙන් වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුව උපයන අදායමේ ප්‍රතිශතය 2% කි. ඉන්ධන ප්‍රවාහනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන ආදායම දැනට 22% ප්‍රතිශතයකි. කටුනායක ගුවන්තොටුපලට ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය අතුළුව අනෙකුත් ප්‍රදේශවලට කරනු ලබන ඉන්ධන ප්‍රවාහනය එයට ඇතුලත් වේ. දුම්රිය දෙපාර්තමෙන්තුවට ඉන්ධන ප්‍රවාහනය සඳහා වත්මන යොදා ගැනීමට ඇත්තේ ගැල් සංඛ්‍යාව 160 කි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *