27 April 2024
#දේශීය

දේශපාලන ඩීල් දැමීම නතර කරන්න – මනුෂ නානායක්කාර

තම තමන්ගේ පුද්ගලික ‌”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

නානායක්කාර මහතා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය යුතු බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානායක්කාර මහතා ” ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින වැඩි දෙනාගේ ඉල්ලීම වන්නේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරන්න කියන එකයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විශාලම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන්නේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන එකයි. ඒ බව ලිඛිතව ලිපි මගින් දැනුම්දී තිබෙනවා. කතානායකතුමා හරි තීන්දුව ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉල්ලීමට විරුද්ධ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් මොනවද කළේ, ඔවුන් කොතැනද හිටියේ කියන එක ජනතාව දන්නවා. ‌මේ වෙලාවේදී අහිංසක පාක්ෂිකයා රැක ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතිව තම තමන්ගේ ඩීල් වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන්න කතා කරනවා. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරලා, රාජපක්ෂලාට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන්න සමහර ඩීල් දාන අය සූදානම් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්න මේ අය උදව් කරන්න හදනවා. මේ සදහා අපි කිසිම අවස්ථාව ඉඩ ලබාදිය යුතු නැහැ. මේ විදියට ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්න හදන අයගෙන් අපිට අහන්න තියෙන්නේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාව ඉටු කරගැනීමද වැදගත් වෙන්නේ, ඒහෙම නැතිනම් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට වැදගත් වෙන්නේ කියන එකයි. අපි ප්‍රභල විපක්ෂයක් හදාගත යුතුයි. ඒ සදහා ආණ්ඩුවත් එක්ක ඩීල් දාන දේශපාලනට තිත තැබිය යුතුයි. මේ වෙලාවේ ජනමතය අනුව කටයුතු කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන අත්දැකීම් ඇති අයෙක්. ඔහුට ජනමතය ගැන හරි වැටහීමක් ඇති කරගෙන පක්ෂයට සාධාරණයක් කරාවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. යැයි මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *