27 April 2024
#දේශීය

දේශපාලන මඩ නැති පාර්ලිමේන්තුවක් නැවත ඇති කරනවා – අගමැති

පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කරීමට රජය සූදානම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ අතර පැවැති හමුවකදිය.

වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කලේද යන්න පැහැදිලි වන්නේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ” මේ තත්වය අනුව අධිකරණ තීන්දු පිලිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට. මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.

1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේ උසස් බව රැකීමට ක්‍රමානුකූලව පියවර ගත් බවයි. නමුත් පසුගිය කාලය තුළ මෙම තත්ත්වය කඩා වැටීමට ලක් විය. පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර සමාජයේ දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කරීමට රජය සූදානම් බවද “ අග්‍රාමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *