27 April 2024
#දේශීය

දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් කරන බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය රාජ්‍ය, පුද්ගලක මෙන්ම සමුපකාර අංශය යටතේත් දියුුණු කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයකට එළැඹෙන බවයි.

විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අදහසින් අලෙවි හා නිෂ්පාදන ව්‍යාපෘති සමුපකාර අංශය හරහා ඉදිරියට ගෙන යාමටත්, ඒ සදහා රජයේ අනුග‍්‍රහය ලබාදෙමින් ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම රටේ වත්මන් ආර්ථික ප‍්‍රශ්න විසදීමේ විකල්පයක් ලෙස පෙනීයන බවද හෙතෙම සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය මගින් ඉදිරියේ එළි දැක්වීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනය සදහා සහෝදර දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සහ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලක් මේ දිනවල පක්ෂය මගින් ක්‍රියාත්මක කර තිබේ.

මෙලෙස සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ 10ක් සමඟ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීම මේ මස 26 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට දේශපාලන පක්ෂ 26ක් සමග සාකච්ඡා පවත්වා ඇති අතර අද දින හෙළබිම ජනතා පක්ෂය, එක්සත් ජනතා පක්ෂය, අපේ ජන උරුමය පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, ශ්‍රී ලංකා ජන බල පක්ෂය, ලංකා ජන සරණ පක්ෂය, ඊචර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, හා නව භූමි පුත‍්‍ර පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති යෝජනාව සදහා ඇතුළත් කිරීම සදහා යෝජනා හා අදහස් ඉදිරිපත් කළ අතර කමිටු 26ක් යටතේ ප‍්‍රතිපත්ති සැකසිම සිදු කෙරෙන බැවින් එම කමිටු සඳහා පක්ෂවල නියෝජිතයෙක් පත්කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කලේය.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *