රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොළම්බු’ සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී ඊයේ (23) කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවර්ණාගොඩ මහත්මිය නියම කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, අධිචෝදනා පත්‍රයට අදාළ ලේඛන පැමිණිල්ල විසින් විත්තිය වෙත භාරදීමෙන් අනතුරුව විනිසුරුවරිය මෙම දින නියම කිරීම සිදු කළාය.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ 2012 සහ 2013 වසරවලදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවයි. වත්මන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු ‘දූෂණ විරෝධි හඬ’ සංවිධානය විසින් 2016 වසරේදී පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.














