මෙවර මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය (එජාපය) දැවැන්ත රැළි හෝ පෙළපාළි නොපැවැත්වීමට තීරණය කර තිබේ. මැයි 01 වැනිදාට පෝය දිනය යෙදී තිබීම මෙම තීරණයට හේතුවී ඇති බව එජාප උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. රැළි වෙනුවට මෙවර මැයි දිනය සැමරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
මැයි මස 01 වැනිදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් වෘත්තීය සමිති නායකයන් 250ක් ඇගයීමේ උලෙළක් පැවැත්වේ. මැයි දිනයට පෙර දින (අප්‍රේල් 30) පස්වරු 5.30 සිට මරදාන බුහාරි ආයතනයේ අනුග්‍රහය ඇතිව සිරිකොත මූලස්ථානයේදී බුරියානි දන්සලක් පැවැත්වීමට නියමිතය. එසේම අලුත්වැඩියා කරන ලද ජාතික සේවක සංගම් ගොඩනැඟිල්ලේදී අප්‍රේල් 30 වැනිදා රාත්‍රී පිරිත් සජ්ඣායනයක් ද, මැයි 01 වැනිදා භික්ෂූන් වහන්සේ 59 නමකට දානමය පින්කමක් ද පැවැත්වේ.
කම්කරු අයිතීන් වෙනුවෙන් කැපවූ ජාතික සේවක සංගමයේ පුරෝගාමීන් ඇගයීම මෙවර මැයි දින වැඩසටහන්වල ප්‍රධාන අරමුණ බව අකිල විරාජ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














