ඉතියෝපියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්කළ නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන මහත්මිය, එරට ජනාධිපති තායේ අත්ස්කේ සෙලාසි (Taye Atske Selassie) මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ. අඩිස් අබාබාහි පිහිටි ජාතික මාලිගයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහ උත්තමාචාර මුරයක් සහිතව මෙම උත්සවය පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අක්තපත්‍ර පිරි නැමීමෙන් පසු පැවැති සාකච්ඡාවේදී, අතීතයේදී ඉතියෝපියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ශ්‍රී ලාංකික ගුරුවරුන් ලබා දුන් සුවිශේෂී දායකත්වය එරට ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට තමන් පූර්ණ සහයෝගය දෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
අප්‍රිකානු සංගමයේ (African Union) මූලස්ථානය පිහිටි ඉතියෝපියාවේ වැදගත්කම පෙන්වා දුන් නව තානාපතිනිය, දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීමට කැපවන බව සඳහන් කළාය. ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් වන ඇය මීට පෙර ජපානය, ස්වීඩනය, මියන්මාරය, ඉන්දියාව සහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ විවිධ තනතුරු හොබවා ඇති අත්දැකීම් බහුල නිලධාරිනියකි.














