27 April 2024
#දේශීය #පුවත්

නිවාස හිමිකම් ඔප්පු 50000ක් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – ඇමැති ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා යටතේ නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුදල් ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දැරීමට නියමිත බවයි.

එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදිය යුතු බවයි.

මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත්කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතය.

විවිධ නාගරික වැඩසටහන් යටතේ අඩුආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබාදී තිබෙන නිවාස වලින් මාසිකව රුපියල් 3000ක පමණ මුදලක් අයකර ගනී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම කුලී මුදල් අයකර ගැනීමද සම්පූර්ණයෙන්ම නතර කිරීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇති බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ ‍නීත්‍යානුකූලව ඉඩම් හා නිවාස හිමිකම් ඔප්පු ලබාදී මෙරට ජනතාවගෙන් සියයට 70ක් පමණ දෙනා ඉඩම් හා නිවාස වල උරුමක්කරුවන් බවට පත්කිරීම මෙම වැඩ සටහනේ අරමුණ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනා මඟින් නාගරික නිවාස වැඩසටහන මඟින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී පදනම යටතේ ලබාදී ඇති මහල් නිවාසවල කුලී අයකර ගැනීම අත්හිටුවා එම මහල් නිවාස වල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල්වලට ලබාදීමට කළ යෝජනාව අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

අඩු අදායම්ලභීන් සඳහා නිවාස ඔප්පු ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනවල පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන තිබේ.

මෙම නිවාස වල හිමිකරුවන් වෙත නීත්‍යානුකූල ඔප්පු ලබාදීමෙන් අනතුරුව පදිංචි ජන කොට්ඨාශයන්ගේ නියෝජනයකින් පිහිටවිය යුතු සහාධිත්‍ය කළමනාකරණ සංස්ථාවක් මගින් මෙම නිවාසවල නඩත්තුව හා කළමනාකරණය සිදුකරන බවද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *