27 April 2024
#දේශීය

පරාජිත මානසිකත්වයක් ඇති රාජිතගේ ප්‍රකාශය බොරු බව ජවිපෙ කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ (06) මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලූ කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක් බවය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දන්නා බවයි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලි බවත් ඒ සියලූදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කල නිවෙදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *