27 April 2024
#දේශීය

පරිසරය රැක ගන්න බලයට එන නායකයින් කටයුතු කළ යුතු බව ජනපති කියයි 

පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ (10) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.
පරිසරය රැක ගැනීමට සියලුදෙනාට පැවරී ඇති වගකීම මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා වනාන්තර ආරක්ෂා කිරීම, රුක්රෝපණය සහ පරිසරයට සංවේදී වීම මෙන් ම ගහකොළ, ඇළ දොළ, සතා සිපාවට, මහ පොළොවට ආදරය කිරීම, සහ පෝෂණය කිරීම මිනිසුන් ලෙස අප ඉටු කළ යුතු මූලික වගකීමක් සහ යුතුකමක් බව ද කියා සිටියේ ය.
එමෙන්ම තමා ජීවත්වන පරිසරය, ගහ කොළ, සතා සීපාවා රැක ගැනීමට දරුවන් කුඩා කාලයේ සිට පුරුදු පුහුණු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
පරිසර සංවේදි නායකයෙකු ලෙස පරිසරය රැක ගැනීම වෙනුවෙන් තමා ඉකුත් පස් වසර පුරා සුවිශේෂි වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා පරිසරය රැක ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට ත්‍රිවිධ හමුදාව යෙදවීමට තමා පියවර ගත් බව ද සිහිපත් කළේය.
ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර නියමුවෝ 40 දෙනෙක් මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූහ.
පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම” මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකෝන් මහතා විසින් මෙහිදී සිදු කළේය.
2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *