27 April 2024
#දේශීය #පුවත් #සංවර්ධන

ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත කෙරේ

“ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර “විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ජල ප්‍රතිකාර ඒකකයකින් හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයකින් ද මෙය සමන්විතය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදි කළ ජාත්‍යන්තර මට්ටමේ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

මේ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීකරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීනතම LED ආලෝක පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරුවන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *