තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 7 වන දේශගුණික සහ තිරසර සංවර්ධන අරමුණු සහජීවනය පිළිබඳ ගෝලීය සමුළුවට එක්වෙමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව දේශගුණික ක්‍රියාකාරීත්වය සහ තිරසර සංවර්ධන ඉලක්ක එකිනෙක බද්ධ කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවයි. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිසම මගින් සංවිධානය කරන ලද මෙම සමුළුවේදී දේශගුණික ක්‍රියාකාරීත්වය යනු තිරසර ආර්ථික වර්ධනය, සමාජීය අන්තර්ගතභාවය සහ පරිසර ආරක්ෂණය සමඟ වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
2026-2035 කාලසීමාව සඳහා වූ ශ්‍රී ලංකාවේ නවතම ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයන් වාර්තාව මගින් හරිත නවෝත්පාදන, පුනර්ජනනීය බලශක්තිය, තිරසර ප්‍රවාහනය සහ චක්‍රීය ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර ගනිමින් සිටින අතර, හරිත හයිඩ්‍රජන් ප්‍රවර්ධනය සහ විදුලිබල පද්ධති නවීකරණය ඒ සඳහා ප්‍රමුඛ වේ.
ජල, වායු සහ ශබ්ද දූෂණය පාලනය කිරීමටත්, තෙත් බිම් ආරක්ෂා කිරීමටත්, දීර්ඝ කරන ලද නිෂ්පාදක වගකීම ක්‍රියාත්මක කිරීමටත් ජාතික පාරිසරික පනත නව සංශෝධන සහිතව සම්මත කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. තවද, සංවර්ධනය වන රටවලට බලපාන මූල්‍ය දුෂ්කරතා සහ ණය බර වැනි අභියෝග හමුවේ, වේගවත් දේශගුණික වැඩපිළිවෙළක් සඳහා බහුපාර්ශවීය සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවට පෙන්වා දී තිබේ. දේශගුණික ක්‍රියාකාරීත්වය හරහා නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, හරිත රැකියා උත්පාදනය කරමින් ජනතාවගේ ජීවනෝපාය මාර්ග නංවාලීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















