27 April 2024
#දේශීය

පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක්

මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකරනු ඇත.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මුලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා ගම්පහ ආසනයේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් මෙසේ අදහස් පල කර සිටියේය .  “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල අනුව යමින් ගමේ යටිතල පහසුකම් සංවර්ධනය හා අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවීම මෙහි අරමුණ වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022 ක ආර්ථිකයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *