ඔස්මාන් ඩෙම්බේලේ (Ousmane Dembele) විසින් වාර්තා කරන ලද විශිෂ්ඨ ගෝල ද්විත්වය හේතුවෙන් ලිවර්පූල් කණ්ඩායම පරාජය කරමින් මෙවර යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම සමත් විය. වර්ෂාව මධ්‍යයේ ලිවර්පූල්හි ඇන්ෆීල්ඩ් (Anfield) ක්‍රීඩාංගණයේ පැවති මෙම අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන අදියරේ තරඟයෙන් PSG කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලැබූ අතර, ඒ අනුව සමස්ත ගෝල සංඛ්‍යාව 4-0ක් ලෙස වාර්තා කරමින් ඔවුන් තරඟාවලියේ ඉදිරියට ගියේය.
තරඟයේ 72 වන විනාඩියේදී බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola) ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලයක් බවට පත් කළ ඩෙම්බේලේ, තරඟය අවසානයේ අතිරේක කාලයේදී සිය දෙවන ගෝලය ද වාර්තා කළේය. ලිවර්පූල් කණ්ඩායම දෙවන අර්ධයේදී PSG ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළද, ඔවුන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට PSG ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. ලිවර්පූල් සුපිරි තරුව මොහොමඩ් සලා (Mohamed Salah) සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් චැම්පියන්ස් ලීග් තරඟය මෙය වීම විශේෂත්වයකි.
මෙම පරාජයත් සමඟ ලිවර්පූල් කණ්ඩායමට මෙවර චැම්පියන්ස් ලීග් සිහිනය අතහැර දැමීමට සිදු වූ අතර, ජයග්‍රාහී PSG කණ්ඩායම අවසන් පූර්ව වටයේදී බේයර්න් මියුනිච් හෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් දෙකෙන් එකක් සමඟ තරඟ කිරීමට නියමිතය. තරඟය අතරතුර ලිවර්පූල් ඉදිරි පෙළ ක්‍රීඩක හියුගෝ එසිටිකේ (Hugo Ekitike) බරපතල ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීම ද ලිවර්පූල් කණ්ඩායමට එල්ල වූ තවත් දැඩි පහරකි.














