දිට්වා කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් විශේෂ නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. මෙම ක්‍රමවේදය යටතේ ආපදාවට ලක් වූ සියලුම ස්ථාන ඒවායේ පවතින අවදානම් ස්වභාවය අනුව අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කර තිබේ. රජයේ ප්‍රතිපාදන වඩාත් කාර්යක්ෂමව සහ සාධාරණව බෙදාහැරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එම ආයතනය පවසයි.
විශේෂයෙන්ම අධි අවදානම් කාණ්ඩයට අයත් දේපළ තවදුරටත් ප්‍රමුඛතාව 1, 2 සහ 3 ලෙස අනු කාණ්ඩවලට වෙන් කර ඇති අතර, වන්දි ගෙවීම් සිදු කරනු ලබන්නේ මෙම ප්‍රමුඛතා ලැයිස්තුවට අනුකූලවය. මේ හේතුවෙන් එකම භූමි ප්‍රදේශයක පිහිටි දේපළ සඳහා වාර්තා ලබා දී තිබුණද, තමන් අයත් වන ප්‍රමුඛතා කාණ්ඩය අනුව අසල්වැසියන්ට මුදල් ලැබී තමන්ට ලැබීම යම් ප්‍රමාදයක් විය හැකි බව NBRO ආයතනය පෙන්වා දෙයි. තමන් අයත් වන නිවැරදි ප්‍රමුඛතා කාණ්ඩය පිළිබඳ තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා විමසා දැනගත හැකි බව ද දන්වා සිටියි.














