27 April 2024
#දේශීය #පුවත්

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද” වැඩසටහනේ දෙවන වැඩසටහන ඊයේ දින (04) වයඹ පළාත් සභා කාර්යාලයේ දී පවත්වන්නට යෙදුනි.

එමෙන්ම කුරුණෑගල ශික්ෂණ රෝහලට නව CT Scan යන්ත්‍රයක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 300 ක් වෙන් කර දිමටත්, ශල්‍යාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දැනට ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 40 ක්, සුළු ප්‍රතිසංස්කරණ කටයතු සදහා තවත් රුපියල් මිලියන 20 ක් සහ Ultrasound Scanner යන්ත්‍රයක් සදහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016-2025 දක්වා ප්‍රතිපත්තිගත වැඩපිළිවෙළක් සහ ප්‍රධාන සැළැස්මක් තිබෙන බවත් එම වැඩපිළිවෙල සාර්ථකත්වය කරා ගෙනයාමට මෙම වැඩපිළිවෙල ඉවහල් වන බවත්, මෙම සාකච්ඡා තුලින් පවතින අඩුපාඩු හදුනාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට මැදිහත් විය හැකි කරුණු පිළිබදව මැදිහත් වෙමින් එම ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවැසීය.

මෙහිදී පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දැනට රෝහල් හා සෞඛ්‍ය ආයතන වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය විමසීම හා ඊට අදාල ගැටලුවලට විසඳුම් ලබාගැනීම, ප්‍රවාහන පහසුකම්, රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සෞඛ්‍ය වෘත්තික හිඟයට විසදුම් ලබාගැනීම, සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම, මානව හා භෞතික සම්පත් සංවර්ධනයට අදාල වැදගත් තීන්දු තීරණ රැසක් ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

වයඹ පළාතේ ප්‍රථමික රෝහල් 145 ක් පමණ වන බවත්, මෙම රෝහල් සංවර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබාදි ඇති බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීම තුලින් නිරෝගී ජනතාවක් බිහි කිරීමේ පරමාර්ථය ඉටු කර ගත හැකි බව මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසිය.

වයඹ පළාත තුළ සමස්ත ජනගහනය 2,563,000 කි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 1,726,000 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ 837,000 ක් වශයෙනි. වයඹ පළාතේ මුලික රෝහල්, දිස්ත්‍රික් ප්‍රාදේශිය රෝහල්, ප්‍රාථමික සත්කාර ඒ්කක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළුව සෞඛ්‍ය ආයතන 720 ක් වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 31 ක් වේ. කුරුණෑගල රෝහලේ රෝගී ඇදන් ධාරිතාවය 2571 කි. රෝහල තුල වාට්ටු 67 ක් සහ සායන 77 ක් ද ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවන් සදහා රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, කුරුණැගල පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සමන්ප්‍රිය දිසානායක, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, වෛද්‍ය අධිකාරිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *