27 April 2024
#සංවර්ධන

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු වී තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමය බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වේ. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකිය.

වර්තමානයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන චූලානන්ද පෙරේරා, මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරිහු මීට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *