ව්‍යාජ ඉඩම් ඔප්පු, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ රාජ්‍ය මුද්‍රා භාවිතා කරමින් සිදුකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය (05) දින බොරැල්ල, ඇන්.ඇම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේදී පොලිස් භාරයට ගත් දෑ අතර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත් සහිත මුල් ගොනු දෙකක්, ව්‍යාජ ඉඩම් ගනුදෙනු ලේඛන, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හතරක් සහ ව්‍යාජ රාජ්‍ය මුද්‍රා 600ක් පමණ වේ. එමෙන්ම ව්‍යාජ ලේඛන සැකසීමට යොදාගත් ඉලෙක්ට්‍රොනික උපකරණ, රුපියල් ලක්ෂ 15ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත තෙවන සැකකරු දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 54, 55 සහ 59 යන වයස්වල පසුවන බොරැල්ල, දික්වැල්ල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















