27 April 2024
#දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින නියම කිරීම ඉදිරියේදී … ! ජනපති

මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි.

ජනාධිපතිවරයාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු විය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රියාවලිය සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සජීවිව මහජනතාවට දැක බලා ගැනීමට ද අවස්ථාව උදාකර තිබුණි.

නිසි පරික්ෂාවන්ගෙන් අනතුරුව මත්කුඩු තොග රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකිවල දමා දියකර විනාශ කිරීම සිදු වූ අතර, එසේ රසායනිකයේ දිය කළ මත්කුඩු ටැංකි පොලිස් ආරක්ෂාව සහිතව අද දිනයේ ම පුත්තලම පිහිටි සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධිතාප උදුන්වල දමා වාෂ්ප කිරීම සිදු කෙරේ.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේ ද යන්න ජනතාව තුළ ඇති ගැටලුවට විසඳුම් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.

අද දින ප්‍රසිද්ධියේ විනාශ කිරීම සිදු වූයේ මෙරට තුළ දී අත්අඩංගුවට ගත් මත්කුඩු වන අතර 2016 ජූනි 21 වන දින ඔරුගොඩවත්ත, බහලුම් අංගනයේ දී සොයාගත් කොකේන් කි.ග්‍රැ 301 යි ග්‍රෑම් 235ක්, 2016 නොවැම්බර් 09 වන දින කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ දී සොයාගත් කොකේන් කි.ග්‍රැම් 31 යි ග්‍රෑම් 844 ක් සහ 2016 නොවැම්බර් 24 වන දින ඔරුගොඩවත්ත, රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් කොකේන් කි.ග්‍රැම් 219 යි ග්‍රෑම් 950ක් සහ 2018 ජූනි 19 වන දින රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගත් කොකේන් කි.ග්‍රෑම් 216 යි ග්‍රෑම් 435 ක් මෙලෙස විනාශ කරන ලදී.

මෙම අවස්ථාව නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බවයි.
රටට පැමිණෙන නිතීවිරෝධි මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට ලොව දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන අධිතාක්ෂණික උපකරණ ද ඉදිරි මාසයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තමා මේ වන විට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම ද ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

අමාත්‍ය තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චතුර සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *