27 April 2024
#දේශීය

මම ජනපති වුණාහම දුක්ගන්නාරාල කෙනෙක් පත්කරනවා – ජනපති අපේක්ෂක සජිත් කියයි

ජනතාවගේ දුක කියන්න තමා ජනාධිපති වු පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නිලධාරියෙක් පත් කරන අතර එම නිලධාරින් පොදු ජනතාවගේ දුක් ගන්නා රාලලා බවට පත් කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කඹුරුපිටිය නගරයේ පැවැති ජනහමුවේදිය.

එහිදී ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ජනතාව කාලයක් තිස්සේ ජනාධිපතිවරුන්ට කතිරය ගහනවා. කතිරයෙන් ජනාධිපතිවන අය ඔහුගේ වැඩ කරනවා. හැබැයි ජනතාවට ජනාධිපති හමුවෙන්න ලැබෙන්නේ නැහැ. ජනතාවට ජනාධිපති හමුවෙන්න ලැබෙන්නේ මන්ත්‍රී හෝ ඇමති හරහායි. නමුත් මම ජනාධිපතිවූ පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නිලධාරියෙක් පත් කරනවා. එම නිලධාරින් පොදු ජනතාවගේ දුක් ගන්නා රාලලා බවට පත් කරනවා. ජනතාවට මා වෙත අදහස් යෝජනා ඉදිරිපත් කරන්න තියෙනවා නම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා සමග සෘජු සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන්. එතනදි ඔබේ ප්‍රශ්නය විමසලා නවීන පන්නයේ රාජ්‍ය සේවයක් තුලින් මෙතෙක් කල් ජනතාව අත් නොදුටු කාර්යක්ෂම ජනතා සේවයක් නිර්මාණය කරනවා. ජනතාවගේ පයට පෑගෙන දූවිල්ලටත් වැඩිය නිහතමානි වෙලා සමීප වෙලා මාතෘභුමියත් ගොඩ ගන්නවා. යැයි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *