27 April 2024
#දේශීය

මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි – මත්ද්‍රව්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය

මරණ දණ්ඩණය ලබාදීම අහෝසි කිරීමට යහපාලන රජය පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත් අද රටට ජාතික අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රටේ අනාගත පරපුර වැනසෙන බවත් එනිසා වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවත් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සාමාජිකයින් ඊයේ (19) දින පෙරවරුවේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමින්.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ අන්තවාදී ත්‍රස්ත්‍රවාදීන්ට, එම ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කර මරණ දඩුවම ලබා දිය යුතු බවත් යහපාලන රජය ගෙන එන මරණ දඩුවම අහෝසි කිරීමේ පනත මගින් රට වැනසූ අහිංසක ජීවිත බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී ත්‍රස්තවාදීන් නිදහස් කිරීමේ සැලසුමක් තිබෙන බවත් එනිසා අන්තවාදී ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබා දියු යුතු බවට විරෝධය පළ කිරීමේ අරමුණින් සිය විරෝධතාවය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල පැවැත්වූ බවත් එම සංවිධානය ප්‍රකාශ කරයි.

නැවතත් අන්තවාදී ත්‍රස්තවාදීන්ට යළි හිස එසවීමට ඉඩ නොදෙන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

පුංචි දරුවන් කාන්තාවන් දූෂණය කර ඝාතනය කරන නරුමයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවන්ට අනිවාර්යෙයන් මරණ දඩුවම ලබා දිය යුතු බවත් යහපාලන රජය ගෙනඑන මරණ දඩුවම අහෝසි කරන පනත මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ස්ත්‍රී දූෂකයින් ඇතුළු අපරාධ කරුවන්ට සුජාත භාවය ලබා දී නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් ඊට එරෙහිව රටේ මව්වරුන් කාන්තාවක් මෙන්ම රටට හිතැති පුරවැසියෙන් එක්ව රටපුරා විරෝධයට සූදානම් බවත් එම සංවිධානය පවසයි.

ඈත දුෂ්කර ගම්මානයේ දරුවන්ගේ සිට නාගරික දරුවන් දක්වා මේවන විට කුඩු ඇතුළු භයානක මත්ද්‍රව්‍ය වලට බිලිවෙමින් පවතින බවත් එනිසා නීති විරෝධි මත්ද්‍රව්‍ය මාෆියාවෙන් දරුවන් මෙන්ම රටේ අනාගතය බේරා ගැනීමට මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් එය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට රටේ ජනතාව ලෙස එකාවන්ව සිට ගන්නා බවත් එම සංවිධානය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට දිගින් දිගටම රටේ අනාගත පරපුර යට වුවහොත් රටක් ඉතුරු නොවන බවත් එනිසා දේශපාලන භේද නොතකා සියලු දෙනා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙලගැසිය යුතු බවත් ඊට ඡන්දය දෙන කිසිදු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ජනතාව ඉඩ නොදෙන බවත් ඔවුන් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය මාෆියාවෙන් රට බේරා ගනිමින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට අගමැතිවරයාට මෙන්ම රජයට බල කරන බවද එම සංවිධානය වැඩිදුරටත් පැවසී ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *